Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ඩෙල්ටා පැතිරෙද්දී සංචරණ සීමා ඉවත් කිරීම ඇවි‌ළෙන ගින්නට පිදුරු දැමීමක්

ඩෙල්ටා පැතිරෙද්දී සංචරණ සීමා ඉවත් කිරීම ඇවි‌ළෙන ගින්නට පිදුරු දැමීමක්


ව්‍යාප්ත වෙමින් පවතින වසංගතයේ සත්‍ය තත්ත්වය බලධාරීන් වෙත පැහැදිලි කර දීමට සෞඛ්‍ය අංශ නිලධාරීන්ට නොහැකි වීම ගැන කනගාටු වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දුගේ අත්සනින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම අප රටෙහි රෝගීන් වැඩි වශයෙන් හමුවන අතර මෙහි දී විශේෂයෙන් අන්තරාදායක වන්නේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉහළ යාමය. මෙම තත්ත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට දැනටමත් අප ළඟා වී ඇති හෙයින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායකයි.

තවද ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ව වර්ධනය වුවහොත් තව දින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවද ඉක්මවා යන බව ඉතා පැහැදිලිය. මෙය රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වලටද එකසේ බලපානු ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ රටේ තිබූ සංචරණ සීමා වැනි දේ තවදුරටත් ලිහිල් කිරීම ‘‘ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක්’’ වැනිය. ජන සමාජයට සංචරණ සීමා ලිහිල් කිරීම රජය කරනු ලබන උඩගෙඩි දීමක් ලෙස සැලකීමට ඉඩ ඇත. මේ මගින් අර්බුදය තව ඔඩු දිවීමට ඇති හැකියාව ඉතා වැඩි වන බව නොඅනුමානය.

පළපුරුදු හා වගකිවයුතු වෛද්‍ය සංවිධානයක් ලෙස පත්වී ඇති මෙම ඉතා අනතුරුදායක තත්ත්වය පෙන්වා දීම අපගේ යුතුකමක් ලෙස අපි දකිමු. අපගේ දැක්මට අනුව මෙම සංචරණ නීති ලිහිල් කිරීම කළයුතු වන්නේ. ප්‍රතිශක්ති කරන වැඩපිළිවෙළ මගින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක සපුරා ගැනීම මෙන්ම එය සමාන්තරව දෛනික රෝගීන් ප්‍රමාණය අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන විටය. මෙම කාලය තව සති හතරක් හෝ අටක් විය හැක.

රටේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේ දී එය නැවත එසවීමට අවශ්‍ය පියවර ඉතා ඉක්මනින් ගතයුතු බව අප පිළිගන්නෙමු. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට යාමේ දී සිදුවිය හැකි අනිසි ප්‍රතිඵල මගින් රෝග ව්‍යාප්තිය හා එමගින් මරණ සංඛ්‍යාව වැඩිවුවහොත් බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය සිදු නොවන බව අපගේ විශ්වාසයයි. විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් අප අවධාරණය කරන්නේ කඩිනම් සංවර්ධනය සඳහා පළමුව සාමාන්‍ය ජනතාව මෙන්ම ආර්ථික විශේෂඥයන් ද මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු බවයි.

රටේ සෞඛ්‍ය අංශ දුර්වල වී කොරෝනා රෝග ව්‍යාප්තිය වැඩි වුවහොත් අප බලාපොරොත්තු වන සංචාරකයන්ගේ පැමිණීමද සිහිනයක් පමණක් වනු ඇත.

මෙම සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු අප රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම ලිපිය අප වෛද්‍යවරුන් ලෙස ඉගෙනගත් ආප්තෝපදේශයක් සඳහන් කිරීමෙන් අවසන් කරමු. ‘‘මළ ගිය අයකුට වඩා පණ ඇති රෝගියකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩිය.’’


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments