Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ඉඩම් අමාත්‍යංශ ලේකම්ගෙන් නීති විරෝධී චක‍්‍රලේකයක්.. වනාන්නතර 12%ක් වැනසෙයි…

ඉඩම් අමාත්‍යංශ ලේකම්ගෙන් නීති විරෝධී චක‍්‍රලේකයක්.. වනාන්නතර 12%ක් වැනසෙයි…


August 10, 2021 at 11:20 am | lanka C news

ඉඩම් අමාත්‍යංශ ලේකම්ගෙන් නීති විරෝධී චක‍්‍රලේකයක්.. වනාන්නතර 12%ක් වැනසෙයි…

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක්‍රලේකය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස ය.

එම චක්‍රලේඛයේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛයේ සඳහන් පරිදි මීට ප්‍රථම ප්‍රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක්‍රලේඛ ත්‍රිත්වය අවලංගු කර ඇති බැවින් වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති වනජීවී ප්‍රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස ය.

සාවද්‍චක්‍රලේඛයක්

මෙම චක්‍රලේඛය අධ්‍යයනය කර බැලීමේ දී පෙනී යන්නේ එහි සාවද්‍ය කරුණු ගණනාවක් අන්තර්ගත වන බව ය. වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනතට අනුව හා 2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. එම රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ය. මෙම චක්‍රලේඛයේ සඳහන් පරිදි වන සංරක්ෂණ ජනරාල් හෝ වනජීවී සංරක්ෂණ ජනරාල් (අධ්‍යක්ෂ ජනරාල්) විසින් ප්‍රකාශිත කිසිදු රක්ෂිත ප්‍රදේශයක් නොමැත. ඒ අනුව මෙය ඉතා ම දෝෂ සහිත චක්‍රලේඛයක් බව පෙනී යයි.

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

මෙම චක්‍රලේඛයේ ප්‍රධාන නීති විරෝධී තත්ත්වය වන්නේ වන රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ හැර ඉතිරි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා, ගම් පුළුල් කිරීම සඳහා සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා මැනීම් කර ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් භාරයේ තබා ගැනීමට නියෝග නිකුත් කිරීම ය. මෙය වන සංරක්ෂණ ආඥාපනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමකි. වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තර, වන රක්ෂිත හා ගම්බද වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කළ වනාන්තර හැර රජයට අයත් සියලූ ම වනාන්තර මෙම වගන්තිය යටතේ පාලනය වේ. එම වනාන්තර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති අතර රජයේ ඉඩම්වල පිහිටි සියලූ ම වනාන්තර මෙම වගන්තියට යටත් වේ.

පනතේ 20(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක ගස් කැපීම, කැනීම් කටයුතු සිදු කිරීම, ගිනි තැබීම, වනාන්තර එළි කර වගා කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, පාරවල් සකස් කිරීම, මායිම් සලකුණු වෙනස් කිරීම යන සියලු ක්‍රියා නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානියට වන්දියක් ලෙස අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් විය යුතු ය. 20(2)(1) වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක යම් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම දඩුවමට ම යටත් කළ හැකි ය.

05/98 හා 05/2001 අංක දරන චක්‍රලේක, අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් අහෝසි කරනු ලැබූව ද 2009 අංක 65 දරන පනතින් වන සංරක්ෂණ ආඥාපනත අවසන් වශයෙන් සංශෝධනය කිරීමේ දී මෙම චක්‍රලේඛ මගින් නෛතික ආවරණය ලබා දුන් සියලූ ම වනාන්තරවල ආරක්ෂාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම පනතේ 20 වන වගන්තියට යටත් කර තිබිය දී චක්‍රලේඛයක් මගින් එම වනාන්තර වෙනත් ආයතනයකට පැවරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැත. එමගින් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම පමණක් නොව රජයට අයත් වනාන්තර විනාශ කිරීමට ආධාර හා අනුබල ලබා දීමකි. මේ නිසා මෙම චක්‍රලේඛය නීති විරෝධී වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

නීති විරෝධී ලෙස මෙම චක්‍රලේඛය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සිදු කර ඇත්තේ නීතිය අතික්‍රමණය කිරීමකි. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ දැක්වෙන ලෙස ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය. ඒ වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ වනාන්තර විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට කටයුතු කිරීම ය.

රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නොමැති රජයට අයත් බොහෝ වනාන්තර ප්‍රදේශ වැව් හා ජලාශවල ජල පෝෂක ප්‍රදේශ වේ. එපමණක් නොව මෙම වනාන්තර රක්ෂිත ප්‍රදේශ අතර සම්බන්ධතාවය ඇති කරන අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන වේ. මීට අමතර ව තෙත් කලාපයේ පිහිටි බොහෝ රජයට අයත් වනාන්තර ප්‍රදේශ තුළ මෙරටට ආවේණික හා වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා ඇති විශේෂ ජීවත් වේ. මෙම වනාන්තර සංවර්ධන කාර්යන් සඳහා භාවිතා කිරීමෙන් සිදු වන්නේ පානීය ජල අර්බුධ හා කෘෂිකාර්මික වාරි ජල අර්බුධ ඇති වීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන පැවැත්ම බිඳ වැටීමයි. එපමණක් නොව අලි – මිනිස් ගැටුම වර්ධනය වීම හා තෙත් කලාපයේ ස්ථානීය ආවේණික ජීවී විශේෂ බොහොමයක් වඳ වී යාම ද මෙමගින් සිදු වනු ඇත. රජයට අයත් වනාන්තර ඉඩම් ලෙස රක්ෂිත වනාන්තර වලින් පරිභාහිරව ප්‍රතිශතයක් ලෙස වැඩි ම භූමි ප්‍රමාණයක පැතිර ඇත්තේ කඩොලාන වනාන්තර යි. මෙම වනාන්තර තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය විශේෂ, ඉස්සසන් හා කකුළුවන් විශේෂ බෝවීම සිදු වේ. මීට අමතර ව කලපු ආශ්‍රිත සත්ත්ව විශේෂ සියල්ලේ ම බෝවීම සිදු වන්නේ කඩොලාන වනාන්තර තුළ ය. මේ නිසා මෙම චක්‍රලේඛයෙන් වැඩි ම හානිය කඩොලාන වනාන්තරවලට සිදු වීමට නියමිත අතර ඒ හේතුවෙන් කලපු හා සාගර ජීවීන්ගේ පැවැත්මට හා දීවර කර්මාන්තයේ පැවැත්මට දරුණු බලපෑම් එල්ල වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන පරිච්ඡේදයේ දැක්වෙන තිරසර පරිසර ප්‍රතිපත්තියක් කොටසෙහි සඳහන් කර ඇත්තේ ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කරන බවත් ය. නමුත් මෙම චක්‍රලේඛයෙන් ඒ සියල්ල ම බිඳ දමා ඇත.

ඉතිරි වී ඇති වනාන්තර වලින් 12% ක් විනාශ කිරීම

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතුරෙන් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9 ක ප්‍රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302 කකි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758 කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392 ක් නැතහොත් සියයට 17.1 කක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර 0.2% ක් නැතහොත් හෙක්ටයාර 15,670 ක් පමණ වෙයි.

වර්ෂ 2014 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තර 103 ක් ඇති අතර ඒවායෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,24,564 ක් නැතහොත් අක්කර 5,79,608 ක් පමණ වේ. එම සියලු වනාන්තර මෙම චක්‍රලේඛය මගින් අහිමි කිරීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 12% ක් තරම් ඉහළ ප්‍රතිශතයකි.

අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම

අලි – ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කිරීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම හා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් වර්ධනය වී ඇත. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දෙමින් තිබේ. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළ දී වසරකට අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ව අලින් 150 ක් හා මිනිසුන් 40 ක් පමණ මරණයට පත් ව තිබේ. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80 දක්වා ත් අලි ඇතුන්ගේ ප්‍රමාණය 275 දක්වා මෙතෙක් ඉතිහාසයේ වර්ධනීය ම තත්ත්වයට පත් විය. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත් කරමින් පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීය ම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් විය. එම වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 122 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. 2020 වසරේ දී අලි මරණ 317 ක් හා අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112 ක් වාර්තා වී විය. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන වන වනාන්තර හා තෘණ භූමි ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි හානි කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යි. මෙම චක්‍රලේඛයත් සමඟ ම රක්ෂිත වනාන්තර වලින් පරිබාහිර වියළි කලාපීය වනාන්තර සංවර්ධන ව්‍යාපෘති සඳහා මහ පරිමාණයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින අලි – මිනිස් ගැටුම තවත් උග්‍ර මට්ටමකට පරිවර්ථනය වනු ඇත.

චක්‍රලේඛය අහෝසි කර ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කරමින් රටට දැවැන්ත විනාශයක් ඇති කිරීමට හේතු වන 02/2021 චක්‍රලේඛය අවලංගු කර ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හෝ අවශ්‍ය පරිදි ඉඩම් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීම වෙනුවට 1987 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ දෙවන පරිශිෂ්ටයේ සඳහන් පරිදි “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්” පිහිටු විය යුතු ය. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්” සකස් කිරීමයි. ඒ මත පදනම් ව ඉඩම් භාවිතා ව පිළිබඳ ව තීන්දු තීරණ ගත යුතු ය.

දෙවන පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු වීම, එම කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතා ව හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ව වගකීම, මෙම කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභා වල නියෝජිතයන් ඇතුළත් වීම, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇඟයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් ඇතුළත් වීම, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෛන් නොව තාක්ෂණික සාධක මත පදනම් වීම, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතා ව හා සම්බන්ධ පොදු න්‍යාය නියම කිරීම, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලබල ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බව ය. නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අද වන විට වසර 34 ක් ගත වී ඇතත් මෙතෙක් බලයට පත් වූ සියළු රජයන් ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීම හා ඒ මත පදනම් ව ඉඩම් භාවිතා ව තීරණය කිරීම හිතාමතා ම මඟ හැර ඇත. මේ නිසා මෙම චක්‍රලේඛ අහෝසි කර වහා ම ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටු වීමට කටයුතු කරන ලෙස අවධාරණය කර සිටිමු.

3,573 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments